Monday, October 1, 2012

දිවියා සහ මුවැත්තිය



උදා හිරුගේ රැසින් මහ පොළොව උණුසුම්වීමට පටන්ගෙන ඇත.. එහෙත් ඈතින්වූ කඳු අතර තවමත් සිහින් මීඳුම් පටලයක සේයාවන් ඇත. විටින් විට ඉහළ පහළ යන කැත්තේ පිහිටෙන් එළි පෙහෙළි වන මාර්ගය දිගේ මම ඉදිරියට අදුනෙමි.රබර් ගස් අතරින් පෙරි එන හිරු රැස් අඩිපාර මත නේක රූරටා ඇතිකළේය.තද කොළ පැහැති රබර් කොළ අතරින් ලා නිල් පැහැ  වලාකුළු සහ අහස පෙනෙයි.. ඒ හිස් අහස දකිනවිට.. ඒ පිවිතුරු නිල් පැහැය දකිනවිට.සිතට අමුතුම හැඟීම් රාශියක් ඒකරාශීවෙයි. එකිනෙකට තොරාගත නොහකිවුවත්, ඒ වෙත පියාඹායන්ට අවශ්‍යබව තදින් දැනේ..මම කෙමෙන් කෙමෙන් පාමුල ඇල්ල දෙසට වූ අඩි පාර වෙත ළඟාවුනෙමි .කුඩා කලු පැහැ ගෙඩි පිරීගත් ඇඹිල්ල ගස් මත මලිත්තෝ රංචු ගැසී තම පාතරාසය සන්සිඳුවා ගනිති.. මේ වනපෙතේ හඬගෑම නිසල වාතලය බිඳහෙලයි. එසේය.. මේ වනපෙත මට නුහුරු නුපුරුදු පරිසරයක් නොවුවත්..මේ වනපෙතට අද මා නුහුරු නුපුරුදු ජීවියෙක් බවට පත්වී ඇත...


ඇල්ල අසල වූ භුමියේ එදා සිටවූ පොල්පැල වලින් අඩක් පමණ ඌරන් කාදමා තිබුණි... ඉතිරියේද පෙනෙන්නට තිබුණේ ගොඩගතහැකි මට්ටමක් නොවේ.. සොබාදමත් සමග අපි අරාඳින්නාවූ සටන ඒකාන්තයෙන්ම පරාජයක් බව සනිටුහන් කරමින්දෝ භූමිය වටකරමින් තිබූ වැට වටා කැලෑවැල් තම සුදු පැහැ මල් ගවසාගත් අතුරිකිලි වලින් වසාගෙන තිබුණි.ඒගැන තවත් සිතීම නිෂ්ඵල බැවින් මම එතැන පසුකර කුඹුර වෙත ගියෙමි. ඇලපාරට කකුල් දෙක දමාගෙන දිය කදුරු ගසකට වාරුවී, වෙල් එළිය පිස හමාඑන මද සුළඟේ පහස විඳිමින් මම හිඳගතිමි. නිවස කරා යාමට ඉක්මන් වියයුතු නැත. නිල් කොළ පැහැයෙන් දිලෙන ගොයම් පැල සුළඟ හා ඳඟකරයි. අතරින් පතර කහගැහුණු මල හදවතැති ගොයම් පැළයක් කඩාවටෙයි. "ක්‍රීඃ! ක්‍රිඃ!!"  හඬක් නඟමින් ගිරවුන් කීපදෙනෙක් ඉගිලී ග්යේය.. " Intruder !! මේ මූ තමයි!!! මේ මූ රුද්‍රිඝූ" ලෙසට හඬනගන්නේ කහ කුරුල්ලෙකි. දියපර අත්තක් මත වසා තම උදෑසන අහර වේල සපුරාගත් පිළිහුඩුවෙක් ස්ත්‍රියකමෙන් සිනා හඬක් නැගුවේය. ඈතින් සීපද රාවයක් ගලගෙන එයි. එය මනුශ්‍ය හඬක් වුවත් පරිසරයේ වූ ස්වභාවික බවට, එහි වූ රසයට ඉන් භාධාවක් නොවුනා පමනක්නොව ඉන් පරිසර රසාස්වදය තවත් වැඩිවුනේය.



මේ අතර මා අසලවූ අඩිපාරේ කෙලවරින් ගැහැණු ළමයෙක් මතුවුනි. ඇය උදෑසනම දර එකතුකරන්නට ගොසිනි. දිය පහරක් ලඟ ගොදුරකට අරාඳින දිවියෙක් දෙස බලන බියපත් මුවැත්තියක් මෙන් ඇය මා දෙස බෙලුවාය. මම ඇයට මිත්‍රශීලී මදහසක් පෑවෙමි. ඇය එය දකින්ට අත්තේ ගොදුරට පනින්නට සැරසෙන දිවියා නගන විරිත්තීමක් ලෙස වියුතුයි. එබැවින්දෝ පය ඉක්මන්කර ඇය මා පසුකර ගියාය. මට තනිවම සිනා ගියේය. ඇය නාගරික තරුණියක් වූවානම් කුමක් වනු ඇත්ද? එක්කෝ මට රවනු ඇත, ගස්සාගෙන ඉවතට යනු ඇත, නැත්නම් මා සමග සිනාසෙනුඇත.  එහෙත් ඒ ගැමි තරුණිය කලේ බියපත්ව බිම බලගෙන ඉවතට යාමයි. ඇය සිටි පසුතලයට මම මා දන්නා නාගරික තරුණියන් කිහිප දෙනෙකු ආදේශ කර බැලුවෙමි. දර මිටියක් උකුළෙහි තබාගෙන, දං ඇට හපමින්, ගෙතූ කොණ්ඩ කරල් ඇතිව, චීත්තරෙදකින් මැසූ ගව්මකින් සැරසී..... යලිත් මට සිනාගියේය... වේලුනු දර ඉපලක්, නිදිකුම්බා කටුවක්, පැගුනුකල ඒ නාගරික යුවතියගේ මුහුන ඇටිකෙහෙල් කෑ උගුඩුවකුගෙ මෙන් විපරීතව යනු ඇත.. හ හා හා.. නැත.. ඔව්න් කිසිසේත් ගමට ඔරොත්තු නොදෙයි.
කෙසේහෝ ඒ සොඳුරු ශ්‍රව්‍යදෘශ්‍ය රසඳුනට, අඉ සොඳුරු පරිසරයට අකමත්තෙන් සමුදී මම නිවස කරා යන්ට පිටත්වුනෙමි.ඇල්ල පසුකරත්ම බුලත් කොරටුවක වැල් ගැටගසමින් සිටි යුවතියන් කිහිපඩෙනෙක් හා ඔව්න්ගේ සහෝදරයන් කිහිපඩෙනෙක් මම දුටුවෙමි.සුපුරුදුලෙස කය කෙලින්කරගෙන,ඉදිරියබලාගෙන මම ඔව්න් පසුකරන්නට ගියෙමි.
"දැන් සමහරුන්ට අපිව පේන්නෙ නෑනෙ.."
 එකියක් කියනු ඇසුනෙන් මම නැවතුනෙමි. ආ.. ඔව්න් දෙදෙනෙකු මගෙ පැරනි යෙහෙළියන්ය. ගමේ මිනිසුන් අතර මම ආඩම්බර කාරයෙකැයි, නගරයට ගියායින් පසුව මගෙ ඔලුව ඉදිමිලා යැයි කියනවාට මම කිසිසේත් කැමති නැත. අවශ්‍යනම් මට ඔව්න් මගහැර යන්ට තිබුනි. එහෙත් 'මනුස්සකම' යන්න අමතක කලනොහැක. මිනිසුන් බෙදන්නේනම් බෙදියයුත්තේ මනුස්සකම මතයි. එසේනම් මොවුන්, ගැමියන් නාගරිකයන් පසුකරනවා නොඅනුමානයි.. එබැවින් මමත් සිනාසී කතාකලෙමි..
"ආ.. නැහැ,නැහැ..ඔයාල වැඩක් නිසා භාදානොකර යන්නයි හැදුවෙ"
"කන්ද පැත්තෙ ගියාද?"
"ඔව්... මේ, ඔය බුලත් වැල් ටිකනම් ගන්නදෙයක් නැතිවෙයි."
මම ඔව්න් කෝපගැන්විමට පැවසුවෙමි.
"අරමොකද?" එකියක් ඇසුවාය..
"හි හී... වැඩේ කරනනෙ ඔයගොල්ලො නිසා"
මම සිනාසෙමින් පැවසුවෙමි.
"ආ! හරිවැඩක්නේ! අපි කෙසේ වෙතත් එක්කෙනෙක් එදා පොල්පැල හිටවලා ගියා..සතියයි ගියේ භාගෙට භාගයක් ඌරො කාලා..."
මගේ යෙහෙලිය මට ඇනුම්පද කීවාය..
"හරි හරී..අපිම හිටවන්නඕනෙ ඌරො කන්නත්..ඔයලගේ ඌශ්නේ තියෙනකල් මේ කොරටුව පැත්තට නම් උන් එන එකක් නැහැ.." යි
 මම කියද්දී ඔව්න්ද මා සමග සිනාසුනෝය..
"වෙන වැඩ නැතුවට... ඒකනෙවේ,ඔය කැලේ කොලේ ඇවිද්දා වගේ නෙවෙයි,දැන් හරියට වල් ඌරො ඉන්නවා..අද උදේ අන්න ලොක්කය්යටත් එකෙක් මුලිච්චි වෙලා තිබුනා. පරිස්සමෙන් හොඳඳ..අපිටනම් බෑ ඕන්න මොකක් හරි උනොත් උස්සන් යන්න"
"අහ්! වැඩේමයි.. මම අමාරුවෙන් හරි දෙපයින් ගෙදර යනවා..කව්ද කිව්වෙ උස්සන් යන්න කියලා. මටත් ආරන්චී සිද්දිය.. අපි එනකොට ඉතින් ඔය මොකෙක්වත් ඉස්සරහට එන්නෙනෑ!!"
මම යලිත් සිනාසෙමින් කිව්වෙමි.
"හා හ හා.. ඒකනෙ ඒකාලෙ අපි කැලේ යනකොට මෙයාව ඉස්සරහින්ම යැව්වෙ"
යලිත් එකියක් කීවාය.
"හරි හරි..දන් මම යනවා. කඨිනෙට හැමෝම එනව ඇතිනෙ නේද.. වාර විභාගෙත් ලඟ නිසා පාඩම් වැඩත් හොඳට කරන්න.." යි කියා මම යන්ට සැරසුනෙමි. ඔව්න්ද අනිවාර්යෙන් කටින පෙරහැරට නම් එනබව පවසුවෝය.කෙසේහෝ වෑකන්ඬියද පසුකරමින් මම නිවස කරා යාම්ට පිටත්වුනෙමි. මධ්‍යහන එළඹෙමින් තිබුනි. වෙනදා මෙන් උකුස්සා වලාකුලු වලට අභියෝග කිරීම පටන්ගෙන තිබුනි. වර්ශා කාලයෙන් පණ ලැබී මල් ඵල දරා තිබුනු තුරුලතා වියන යටින් වැටී තිබුනු මාර්ගය දිගේ මම තනිව නිවස බලා ගමන්කරමි. නැත මා තනිවෙලා, තනිකම සිටී රෑදිවා.. ඇය නොහොත් "තනිකම" සොඳුරුය, පියකරුය. සැමවිටම මා අසල දැවටේ.. ඉතින් තවත් පාලුවක්නම් නැත දැනෙනේ...
                                          ~දිවියා~

3 comments:

  1. තනිකම කොච්චර පරණ අත්දැකීමක් උනත් තාම අළුත්..

    ReplyDelete
    Replies
    1. අනිවාර්යෙන් සහෝදරයා..... ඇය..නොහොත් තනිකම..කවදත් වෙනස් වෙන්නෙ නැහැ..

      Delete
    2. "ඇය..නොහොත් තනිකම" තියෙන්නේ උඹට...
      මට තියෙන්නේ "ඇය නොවන" තනිකම..

      Delete